2016/05/12

වටමඩලින් ගත් කවි සිත්තමක්



රමණිය ජීවිත සන්ධ්‍යාවේ
ඕක් ගසත් නුග ගසත් අතර
සක්මන් කරන හෝරාවේ
හරියටම ගමන මැද දී
කීන බලු රැළක් මෙන්
උන් මා වට කර ගත්තා

පහර දුන්නා කටු සැමිටියෙන්
ගලින් මුගුරින් සිපතින්
මුහුණට කෙළ ගසා
ඇද ගන්නට හැදුවා
තුරුලෙහි උන් මා පුතුන්

ඉඩ නොදී උදුරන්නට
පොළොවෙහි වැටී යටි බැල්ලෙන්
පපු මසට තද කරගෙන
බදා සිටියා මම පුතුන්

නියෙන් නිය උදුරමින්
සමින් සම උදුරමින්
කොළයෙන් කොළය ඉරමින්
උපුටන්නට උනා උන්
මපුතුගේ සුවිමල සිරුර

ගඟට විසිකල නොහැකි වු තැන
උන් ගියා වැඩ අවසන් කොට
එහෙත්........

ලාසරස් පැමිණියා
අර්ජුනෙක් පැමිණියා
සුමේධත් පැමිණියා

අත වාරු දී
උන් මා නැගිට වූවා

‘තා පුතු රතු
උන් පිනැතිය...‘
කියා ගියෝ
බදාගෙන සිටි මා පුතු
පපු මසට ඇලී සිටියා
ඇට මස මිදුළුවලට ඇලී

ගලා ගිය ලෙහෙ බිංදු බිංදු
ආපසු අවුත් එක් වි....
ඉරි ගිය කොළ - පිටු
එකින් එක එක්වී
ආපසු පොතට හාවී....
වැගිර ගිය අකුරු වැල්
එකින් එක ඇමණී
එකමුතු මුතු වී....
මා පුතු තුරුළු විය මා සමග
පුත
යළිත් මම ඔබ සමග

පරාක්‍රම කොඩිතුවක්කු

උපුටා ගැනීම (දිනපතා දිවයින - වටමඩල - කවිපිටුව)






No comments:

Post a Comment